පීපල්ස් ලීසිං සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් හමුවේ 2022/23 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව අවසන් කරන්නේ ඉහළ ප්‍රගතියක් සමගිනි


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා රුපියල් මිලියන 959 ක කැපී පෙනෙන කාර්තුමය ලාභයක් සමඟ, 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා බදු පසු ලාභය (PAT) ලෙස රු. මිලියන 1,637 ක ඉපයීමක් ලබා ඇත. තම වත්කම් සහ වගකීම් නිසි ලෙස කළමනාකරණය කරමින් අභියෝගාත්මක තත්වයන් හමුවේ සිය ප්‍රධාන උපායමාර්ගික මුලපිරීම් කළමනාකරණය කිරීමට සමාගමට පවතින හැකියාව මෙයින් පෙන්නුම් කරයි.

රට තුළ පවතින අයහපත් සමාජ ආර්ථික දැක්ම යට‍තේ සමාගමේ ප්‍රධාන ආදායම වන පොලී ආදායම 28.3% කින් වර්ධනය වීම කැපී පෙනේ. මේ අතර, රට තුළ උද්ධමනකාරී තත්ත්වය ඉහළ යමින් තිබෙන මොහොතක සමාගමේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් අනුගමනය කරන ලද ඩිජිටල් නව්‍යකරණ උපාය මාර්ග සහ විවිධ පිරිවැය පාලනය කිරීමේ පියවරයන් හේතුවෙන් සමාගම තුල සිය මෙහෙයුම් වියදම්හි වර්ධනය සාර්ථකව තනි ඉලක්කමක තබා ගැනිමට හැකි විය. නමුත් රටේ වත්මන් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පළමු කාර්තු දෙක තුළ සමාගමේ කාර්ය සාධනයේ යම් දුර්වල බවක් දක්නට තිබුන ද සමාගමේ නව නායකත්වය යටතේ, තෙවන කාර්තුවේ විශිෂ්ට කාර්ය සාධනයක් ලබා ගැනීමට හැකි වූ අතර, එයින් වසර අවසාන ප්‍රතිඵලයන්හි ප්‍රගතිශීලී වෙනසක් අත්කර ගැනීමට නැවත හැකි වනු ඇත.

තුන්වන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසුවේ “අපගේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය පිළිබිඹු කිරීම සඳහා සේවක කැපවීම, පාර්ශවකරුවන්ගේ ගැටළු විසඳීම සඳහා වන උපාය මාර්ග පෙළගැස්වීම, හිතකර මෙහෙයුම් පරිසරයක් සහතික කිරීම සඳහා ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියා පටිපාටි නැවත යාවත්කාලීන කිරීම‍ සිදු කළ යුතු බවත් ඒ සදහා වඩාත් ස්ථායි සේවා ස්ථානයක් ලෙස වෙනස්කම් සාර්ථකව සිදුකර ගෙන යාමට සමාගමේ කාර්ය මණ්ඩලයේ අප්‍රහිත සහයෝගය තිබු බවත්ය.”

මෙම දුෂ්කර අවස්ථාවේ සමාගමේ 2,000 කට අධික අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ සහ ශී‍්‍ර ලාංකීක ප‍්‍රජාවගේ යහපැවැත්ම සහතික කරමින් ආකර්ෂණීය බදු පසු ලාභයක් සාක්ෂාත් කරගත් බව පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ෂමින්ද්‍ර මර්සිලින් මහතා තවදුරටත් සඳහන් කළේය.

පළමු මාස ​​හය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගිය අපහායන ගාස්තු හා සසඳන විට, ණය අවදානම් කළමනාකරණය කිරීමේදි අන්‍යෝන්‍ය වශයෙන් සිදුකරන ලද නොපසුබස්නා උත්සාහයන් සහ ඵලදායි ලෙස සම්පත් උපයෝජනය සහ එකතු කිරීම්වල වැඩිදියුණු කිරීම් මගින් කාර්තුව තුළ අපහායන ගාස්තු අඩුවිමේ අවස්ථාවන් සමාගම දුටුවේය. මෙම කාල පරිච්ඡේදය තුළ ප‍්‍රාග්ධන අවශ්‍යතා සහ ගණුදෙනුකරුවන්ට ලබා දුන් ණය පමා සහන කාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද නියාමන හා කොන්දේසි අභිබවා එම නියාමන අවශ්‍යතාවයන් පවත්වා ගැනීමට සමාගම සමත් වූ අතර අක‍්‍රීය ණය (NPL) අනුපාතය ද ක්ෂේත‍්‍රයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවත්වා ගෙන ගියේය.

රජය සතු ව්‍යවසායයක් ලෙස අනෙකුත් ප්‍රධාන බැංකු නොවන මූල්‍ය ආයතනයන් හා සසඳන විට මහජන සහ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් අප සමාගම වඩාත් ඇතුළත් ප්‍රවේශයක් ගෙන තිබේ. ඇත්ත වශයෙන්ම, සමාගම මූලික වශයෙන් උපාය මාර්ගික අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින්, වර්ධන වේගය ඉහළ නැංවීමට පියවර ගැනීම සහ ප‍්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම සහ පාර්ශවකරුවන් කේන්ද්‍ර කරගත් නායකත්වයක් අනුගමනය කරමින් සමාගම වසර පුරා සිය පාර්ශවකරුවන් සඳහා වටිනාකමක් නිර්මාණය කළේය.

අනෙකුත් වසර වලදී මෙන්ම පීපල්ස් ලීසිං සමාගම දිවයිනේ විවිධ ප‍්‍රදේශ ආවරණය කරමින් සමාජ සත්කාර ව්‍යාපෘති රැසක් දියත් කරන ලදී.

මර්සිලින් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ  “ඉදිරි දැක්ම සමාගමට අතිශය අභියෝගාත්මක බවත් එබැවින් පවතින උද්ධමන පීඩනය සහ ප‍්‍රතිපත්ති අනුපාත ඉහළ නැංවීම සමාගමේ ණය කළඹට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතරම මෙම බලපෑම පියවා ගැනීමට නම් අපි ආදායම් උත්පාදනය සඳහා විකල්ප මාර්ග සෙවිය යුතුය” යන්නය.

වසර පුරා මුහුණ දුන් අභියෝග හමුවේ වුවද 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ අප ලබා ගත් විවිධ ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීම් සහ ඇගයීම් තුළින් පීපල්ස් ලීසිං සමාගමේ නොබිදිය හැකි ශක්තිය දෘශ්‍යමාන විය. බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති යුරෝපීය සංගමයේ තත්ව පර්යේෂණ (European Society Quality Research ‍- ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා  පිරිනමන  “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සදහා වු සම්මානයෙන් පිදුම් ලැබීම, මේ අතර, පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාව 2021/22 ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන් විසින් රජය සතු ව්‍යවසාය/සමාගම් – මුල්‍ය සහ කල්බදු කාණ්ඩයේ “හොඳම ඒකාබද්ධ වාර්තාව” ලෙස පිළිගෙන ඇත. බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ වාර්ෂික වාර්තාව සඳහා වන “ලෝකඩ සම්මානය” ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් පිරිනමන ලද “TAGS සම්මාන – 2022” හිදී පිරිනමන ලද අතර දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය (SAFA) විසින් ඉදිරිපත් කරන ලද “Best Presented Annual Report Awards” මගින් මුල්‍ය සේවා කාණ්ඩයේ “ කුසලතා සහතිකය” ප්‍රදානය කරන ලදී.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වර්ෂ 1995 දී මහජන බැංකුවට පූර්ණ හිමිකාරීත්වය දරන පුද්ගලික සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාපිත කරන ලද අතර වර්ථමානය වනවිට පීපල්ස් ලීසිං සන්නාමය ශ‍්‍රී ලාංකිකයන්ගේ හදවතේ නොමැකෙන නාමයක් බවට පත් වී තිබේ. රටේ පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට මුල්‍ය සම්පාදනය කිරීමේ ප‍්‍රධාන නියමුවා වන පීපල්ස් ලීසිං සමාගම කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අඩාල වු පුද්ගලික මගී ප‍්‍රවාහන සේවාව යළි පණ ගැන්වීමට ප‍්‍රමුඛතාවය දීමේ අරමුණින් පුද්ගලික මගී ප‍්‍රවාහන අංශය නැවත ගොඩ නැගීමේ දුෂ්කරතාව ජය ගැනීම සඳහා ”හිත මිතුරු” නමින් නව සහන යෝජනා ක‍්‍රමයක් දියත් කළේය. ශක්තිමත් ප‍්‍රාග්ධන තත්ත්වයක් සහ ශේෂ පත‍්‍රයක් සමඟින්, පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනැන්ස්  සමාගම ශ‍්‍රි ලංකාවේ  ඉහළම ශ්‍රේණිගත කළ බැංකු නොවන මුල්‍ය සමාගමක් (NBFI) ලෙස ෆිච් රේටින් ආයතනය විසින් “A – (Ika)” ලෙස ශ්‍රේණිගත කර ඇත. එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ ජනතාවට අන්‍යෝන්‍ය අරමුණු සහ අභිලාෂයන් ග‍්‍රහණය කර ගැනීමට සහාය වෙමින් පීපල්ස් ලීසිං අඛණ්ඩව සේවය කරනු ඇත.

පීපල්ස් ලීසිං ජාතියේ තිරසාර පරිවර්තනයට සිය උපරිම දායකත්වය දක්වන අතරම, පරිපූර්ණ මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලාංකීය ජනතාව සවිබල ගැන්වීම සහ සේවය කිරීම අඛණ්ඩව සිදු කරයි.

ප්‍රදීප් අමිර්තනායගම් මහතා සභාපති පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම
ෂමින්ද්‍ර මර්සිලින් මහතා ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම