SLT-MOBITEL mCash ඔස්සේ දැන් පහසුවෙන් පීපල්ස් ලීසිං වාරික ගෙවීමට අවස්ථාව


ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL,හඳුන්වා දුන් නිර්මාණශීලී ජංගම මුදල් ගනුදෙනු සහ ‘වොලට්’ සේවාවක් වන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි SLT-MOBITEL mCash හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට දැන් අවස්ථාව උදා වී තිබේ. 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් යනු මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයකි. මෙම හවුල්කාරීත්වය මගින් එම සමාගමට වඩාත් පහසුවෙන් හා ඉක්මනින් තම ගනුදෙනුකරුවන් වෙතින් ලීසිං වාරික අයකරගැනීමට අවස්ථාව ලැබේ.

මේ අනුව මින් ඉදිරියට SLT-MOBITEL mCash wallet ඔස්සේ හෝ mCash බලයලත් අලෙවිසැල් වලදී ඉතාමත් පහසුවෙන් තම ලීසිං වාරික ගෙවීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබී ඇත.

mCash බලයලත් අලෙවිසැල් ජාලය දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර ඉදිරියේදී තවත් අලෙවිසැල් මෙම ජාලයට සම්බන්ධ කරගැනීමට සැලසුම් කර තිබේ. පීපල්ස් ලීසිං සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීම යනු ඩිජිටල් පරිවර්තනයේ සාධනීය ප්‍රතිඵල ජනතාවට සමීප කරවීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.

සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවන්ට හා ජීවන රටාවන්ට ගැළපෙන පරිදි නවතම අංග රාශියක් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ ජංගම ගනුදෙනු සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකිරීමට SLT-MOBITEL mCash සමත් විය.

මුදල් යැවීම හා ගෙන්වා ගැනීම, ජංගම දුරකථන රීලෝඩ් කිරීම හා බිල්පත් ගෙවීම, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම, රක්ෂණ වාරික, ලීසිං සහ ෆිනෑන්ස් වාරික ගෙවීම, මාර්ගගත ගෙවීම් සිදුකිරීම, QR කේත භාවිතා කරමින් අලෙවිසැල් තුළදී ගෙවීම් සිදුකිරීම (ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් LankaQR සම්මතයන් අනුව), බැංකු තැන්පතු, ණය හා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ඩිජිටල් ණය පහසුකම් වැනි සේවාවන් හා පහසුකම් රාශියක් mCash ඔස්සේ පාරිභෝගිකයන් වෙත ලබා දී තිබේ. කුඩා හා මහා පරිමාණ අලෙවිසැල් මෙන්ම Mobitel ශාඛා, SLT Teleshop අලෙවිසැල්, Singer ප්‍රදර්ශනාගාර, Lanka Bell ශාඛා, Pay & Go කුටි ඇතුළු ස්ථාන 25,000 කට අධික සංඛ්‍යාවක් ඔස්සේද mCash සේවාව භාවිතා කළ හැකි අතර, mCash App හරහා සෘජුවම mCash ගිණුම් වලට මුදල් ඇතුළත් කිරීමට හැකියාව ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඩිජිටල්කරණය

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් PLC Touch නමින් ජංගම යෙදුමක්  හඳුන්වා දීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ මෙම වර්ගයේ යෙදුමකට මුල්ම වරට ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂී අංග රාශියක් PLC Touch යෙදුමට ඇතුළත් වේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඉතුරුම් ගිණුමකට අමතරව වෙනත් ඕනෑම බැංකුවක ඇති ඕනෑම ඉතුරුම් ගිණුමක් PLC Touch යෙදුමට ඇතූලත්කර ගැනීම (mapping) මඟින් එම ඕනෑම ගිණුමක් ඔස්සේ QR කේත ක්‍රමය පදනම් කරගත් ගෙවීම්, උපයෝගීතා බිල්පත් ගෙවීම්, සහ එම ඕනෑම බැංකු ගිණුමක් භාවිතයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ණය හා ලීසිං සම්බන්ධ ගෙවීම් සිදුකිරීම වැනි සේවාවන් රාශියක් PLC Touch ඔස්සේ ලබාගත හැකි වේ. එමෙන්ම මෙමගින් ලිපිලේඛන කටයුතු වලට කාලය වැයකිරීමෙන් තොරව විනාඩි ගණනක් තුළ නව රක්ෂණයක් ලබාගත හැකි අතර, “Call & Go” ක්‍රමවේදය මගින් රථවාහන රක්ෂණ වලට අදාළ හිමිකම් මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියද සරල කරයි.

එමෙන්ම මාර්ගගත ලීසිං පහසුකම් සැපයීම සඳහා සහ චෙක්පත් මුද්‍රණ ක්‍රියාවලිය විමධ්‍යගත කිරීම සඳහාද ඩිජිටල් යෙදුම් දෙකක් දියත් කිරීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම කටයුතු කළේ ය. මින් පළමුවැන්න වන CAPP, ඉතාමත් කාර්යක්ෂම ක්‍රියාවලියක් ඔස්සේ මාර්ගගත ක්‍රමයට අනුමැතිය ලබාගනිමින් ණය පහසුකම් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙයි.

DCHEQUE යනු පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම මහජන බැංකුව සමග එක්වී නිර්මාණය කළ තවත් පෙරළිකාරී ඩිජිටල් නවෝත්පාදනයකි. මෙම ගෙවීම් සේවාවට SLIPS, CEFT, RTGS සහ බැංකුව තුළ ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීමේ හැකියාව ඇතුළත් වේ. පද්ධතිය තුළ සිදුකරන ගෙවීම් තහවුරු කරගැනීම සඳහා වඩාත්ම සුරක්ෂිත විසඳුමක් වශයෙන් කණ්ඩායම් දෙක එක්වී මෙය නිර්මාණය කරන ලදි. DCheque හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සමස්ත ශාඛා ජාලයටම විද්‍යුත් ලිපිලේඛන සමගින් ඩිජිටල් ක්‍රමයට ගෙවීම් කළමනාකරණය කළ හැකි වේ. මෙහිදී සුරක්ෂිත ලෙස අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක් යටතේ ඩිජිටල් අත්සන මුද්‍රණය කළ හැකි නිසා, සාමාන්‍ය පරිදි අත්සන් යෙදීම අවශ්‍ය නැත.

මීට අමතරව, බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකු වශයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම මේ වනවිට Self-e-Cash නමින් තවත් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම ස්ථාවර තැන්පතු ඇපයට තබා ක්ෂණික ණයක් ලබාගත හැකි අතර, අදාළ මුදල ATM යන්ත්‍රයකින් ලබාගත හැකි වේ.