පීපල්ස් ලීසිං සමාගම දැයේ දරුවන්ට ඉතුරුම් දිරිගැන්වීම සඳහා සෙනෙහස් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමය හඳුන්වා දෙයි


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ ප්‍රථම වරට දරුවන් සඳහා “සෙනෙහස්” නමින් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී ඇත.

මෙම සෙනෙහස් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමය මූල්‍ය ක්ෂේත්‍රයට නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය 2022 නොවැම්බර් මස 10 වන දින පීපල්ස් ලීසිං සමාගමේ ගරු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා සහ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ගරු ෂමින්ද්‍ර මර්සිලීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පීපල්ස් ලීසිං ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලද අතර ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද එම අවස්ථාවට සහභාගී විය. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා විවිධ වයස් කාණ්ඩ වලට අයත් දූ දරුවන් සමූහයක් ඔවුන්ගේ දෙමාපියන් සමග සම්බන්ධ වූ අතර සෙනෙහස් ළමා ස්ථාවර තැන්පතු සහතිකපත් පිරිනැමීම එහිදී සිදුකරනු ලැබිනි. තවද, මෙම අවස්ථාවට කොළඹ අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ද සහභාගී විය.

දැයේ දරුවන් අතර ඉතුරුම් ප්‍රචලිත කිරීම හා ඉතිරි කිරීමේ පුරුද්ද ඔප් නැංවීමේ පරමාර්ථය පෙරදැරි කරගනිමින් සෙනෙහස් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමය මූල්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. බැංකු නොවන මූල්‍ය ආයතනයක් ලෙස පීපල්ස් ලීසිං සමාගම තිරසාරත්වය ඇති කිරීමේ අරමුණින් කුඩා අවධියේ සිටම ඉතිරි කිරීම පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් තිරසර සමාජයක් ගොඩනැගීම සඳහා විශාල දායකත්වයක් සපයන කැපවීමෙන් කටයුතු කරන ආයතනයකි.

වසර ගණනාවක් පුරාවට විශ්වාසයේ ප්‍රමුඛයා ලෙස සිය සන්නාමය එක ලෙස නොවෙනස්ව රඳවා තබා ගත් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රමුඛතාවය වන්නේද සමාගමේ සියළුම ගණුදෙනුකාරභවතුන් හට එහි සාර්ථකත්වයේ ප්‍රතිලාභ උපරිම වශයෙන් භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සහතික කිරීමයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ඡායාරූප ශීර්ෂය 1   : පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා (වම් පස සිට තෙවන) විසින් ස්ථාවර තැන්පතු සහතිකය ප්‍රථම තැන්පත්කරුට නිල වශයෙන් පිළිගන්වනු ලබන අවස්ථාව  සඳහා ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලීන් මහතා (වම් පස සිට දෙවන)  ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය ඒ සඳහා සහභාගී වූ  ආකාරය දැක්වෙන ඡායාරූපය. 

පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලීන් මහතා (වම් පස සිට පළමුවන) ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය එම අවස්ථාව සඳහා සහභාගී වූ දූ දරුවන් සමඟ පෙනී සිටින සමූහ ඡායාරූපය.