හරිත ලොවක් නිර්මාණය කිරිම උදෙසා තිරසර කසළ කළමනාකරණයට පීපල්ස් ලීසිං දායක වෙයි


පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සි සමාගම පුරා වසර 25 ක කාලයක සිට තිරසර අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දෛනික කසළ කළමනාකරණ ක‍්‍ර‍්‍රියාපිළිවෙත වඩාත් ක‍්‍රමවත් කිරීමේ පරමාර්ථයෙන් කසළ බදුන් ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතියක් පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි / සාමාන්‍යාධිකාරි ෂමීන්ද‍්‍ර මර්සිලිං මහතාගේ සංකල්පයකට අනුව ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මඟපෙන්වීම යටතේ පොළොන්නරුව ගල් විහාර පූජා භූමිය තුළ 2022 අපේ‍්‍රල් මස 06 වන දින මහජන අයිතියට පත්කරන ලදී.

ඒ අනුව සීගිරි පර්වත පරිශ‍්‍රය තුළ හා ඉන් පිටත ඉවතලන ඝන අපද‍්‍රව්‍ය නිසි අයුරින් බැහැරලීමට අවශ්‍ය කසළ බඳුන් කට්ටල ප‍්‍රදානය කිරිම පීපල්ස් ලීසිං සමාගමේ සහකාර ප‍්‍රාදේශීය කළමනාකාර සුසිල් ප‍්‍රියන්ත මහතා විසින් දඹුල්ල මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමණාකාර ආර්. උපුල් නිශාන්ත මහතා, දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය ධවන්ත වීරසූරිය මහතා සහ දඹුල්ල ප‍්‍රාදේශීය සභාවේ එස්. එම්. අයි. අහමඞ් මහතාට මහජන අයිතිය සඳහා ප‍්‍රදානය කිරිම පසුගියදා සිදුවිය.

මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන ශාඛාවේ අලෙවි සන්නිවේදන හා සමාජ සත්කාර අංශ ප‍්‍රධානි හිෂාන් වැල්මිල්ල මහතා, පීපල්ස් ලීසිං දඹුල්ල ශාඛා කළමනාකාර චතුරංග නාගොඩවිතාන මහතා. දඹුල්ල පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂක ධනුක උදයන්ග මහතා, දඹුල්ල ප‍්‍රාදේශීය සභාවේ ලේකම් එච්. එම්. ආර්. කේ. සෙනෙවිරත්න මහතා සහ දඹුල්ල මහජන සෞඛ්‍ය පරික්‍ෂක එස්. ඒ. වසන්ත කුමාර මහතා ඇතුළු සෙසු නිළධාරින් ද සහභාගී විය.

මානව සෞඛ්‍යය සහ පරිසරය ආරක්ෂා කිරීමට උපකාරී වන ලෙස ව්‍යාපාරයක් අපද්‍රව්‍ය නිවැරදිව කළමණාකරණය කිරීම හැකිතාක් පහසු කළ යුතුය. ව්‍යාපාරික ලෝකයේ අපද්‍රව්‍ය වෙන් කිරීමේ වැදගත්කම අවතක්සේරු කළ නොහැකිය. ඒ අනුව අන්තරායකර අපද්‍රව්‍ය වෙන්කර වෙනම පිරිපහදු කළ විට අපට වාතය සහ ජලය දුෂණය වීම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය.

1982 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලද සීගිරිය ශ‍්‍රී ලංකාවේ ඇති වටිනාම ඓතිහාසික ස්මාරකයකි. ලෝකයේ අටවැනි ආශ්චර්යය ලෙස හඳුන්වනු ලබන මෙම පෞරාණික මාලිගාව සහ බලකොටු සංකීර්ණය පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති අතර සෑම වසරකම සංචාරකයින් දහස් ගණනකගේ ආකර්ෂණය දිනාගන්නා අතර එහි භූ දර්ශනය ස්වභාවධර්මය සහ මානව පරිකල්පනය අතර ඇති අද්විතීය සංහිඳියාව සමඟ සංචාරකයින් මවිතයට පත් කරයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සහකාර ප‍්‍රාදේශීය කළමණාකාර සුසිල් ප‍්‍රියන්ත මහතා විසින් පොළොන්නරුව සොළොස්මස්ථාන භාරකාර ස්ථිවිර කන්දකැටිය අත්තදස්සි ස්වාමීන්වහන්සේට මහජන අයිතිය සඳහා කසළ බඳුන් කට්ටල ප‍්‍රදානය කළ අවස්ථාව.