පීපල්ස් ලීසිං සමාගම ISO 14064-1:2018 ප්‍රමිතියට අනුකූල හරිතාගාර වායු සත්‍යාපන සහතිකය ලබාගනී


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම, සිය පාරිසරික වගකීම, වගවීම සහ තිරසර වාර්තාකරණයේ විනිවිදභාවය හා තිරසරභාවය පිළිබඳ සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, 2025/26 මූල්‍ය වර්ෂය සඳහා ISO 14064-1:2018 ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සිදු කරන ලද හරිතාගාර වායු (GHG) සත්‍යාපන ප්‍රකාශයක් ලබා ගන්නා ලදී.

මෙම GHG සත්‍යාපනය පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පෞද්ගලික) සමාගම (SLCF) විසින් සිදුකර ඇති අතර, එමඟින් සමාගමේ පාරිසරික බලපෑම ක්‍රමානුකූලව මැනීම, කළමනාකරණය කිරීම සහ වාර්තා කිරීම සඳහා පීපල්ස් ලීසිං සමාගම දරන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු වේ.

අදාළ GHG සත්‍යාපන සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීම 2026 සැප්තැම්බර් 24 වන දින පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්තන් ජයකොඩි මහතා ඇතුළු සම්භාවනීය මහත්ම මහත්මීන් / අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ස්වාධීන සත්‍යාපනය මඟින්, පීපල්ස් ලීසිං සමූහයේ ආයතනික මට්ටමේ GHG විමෝචන ඇගයීම ISO 14064-1:2018 ප්‍රමිතියේ අවශ්‍යතාවලට අනුකූලව සකස් කර ඇති බවත්, එය ISO 14064-3:2019 ප්‍රමිතියට අනුව ස්වාධීනව සත්‍යාපනය කර ඇති බවත් තහවුරු කරයි.

මෙම GHG ඇගයීම පීපල්ස් ලීසිං සමූහයේ මෙහෙයුම් පාලනය යටතේ පවතින ව්‍යාපාරික ක්‍රියාකාරකම් පුළුල් පරාසයක් ආවරණය කරයි. ඒ අතර පීපල්ස් ලීසිං ප්‍රධාන කාර්යාලය, ශාඛා 112ක්, වාහන අංගණ 06ක්, නිවාඩු නිකේතන 02ක් සහ අනුබද්ධ ආයතන 06ක් ඇතුළත් වේ. එම අනුබද්ධ ආයතන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී (People’s Insurance PLC), පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඩ් (People’s Micro Commerce Ltd), පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් ලිමිටඩ් (People’s Leasing Fleet Management Ltd), පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ලිමිටඩ් (People’s Leasing Property Development Ltd), පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් ලිමිටඩ් (People’s Leasing Havelock Properties Ltd) සහ එලායන්ස් ෆයිනෑන්ස් පීඑල්සී (බංග්ලාදේශය) (Alliance Finance PLC (Bangladesh)) ඇතුළත් වේ.

පීපල්ස් ලීසිං සමූහය විසින් සිය පාරිසරික බලපෑම මැනීම, කළමනාකරණය කිරීම සහ වාර්තා කිරීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක් අනුගමනය කිරීමේදී මෙම සත්‍යාපනය වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. විශේෂයෙන්ම, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව GHG විමෝචන තොරතුරු ස්වාධීනව සත්‍යාපනය කර ගැනීම තුළින් පාරිසරික වගකීම සහ තිරසර වාර්තාකරණයේ විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් වේ.

පීපල්ස් ලීසිංහි තිරසරත්ව ප්‍රවේශය පරිසර සංරක්ෂණයට පමණක් සීමා නොවන අතර, ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළ පාරිසරික, සමාජීය සහ යහපාලන (ESG) කරුණු ඒකාබද්ධ කරමින් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කරයි. ඒ අනුව, පාරිසරික බලපෑම නිවැරදිව මැනීම සහ වගකීමෙන් යුතුව වාර්තා කිරීම, වඩාත් තිරසර සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත අනාගතයක් ගොඩනැගීම සඳහා ආයතනයේ අඛණ්ඩ ප්‍රයත්නයේ එක් අංගයකි.